Friday, November 5, 2010

දැන් හිතට හරි නේද?


"මං හිනාවෙලා විහිලු කරලා ඉන්න උත්සහ ගන්නේ,මේ සේරම අමතක කරලා සතුටින් ඉන්න බව පෙන්වන්න.එත් එක එහෙම උනේ නැහැ ." 

ඇතුලත අන්ධකාරයෙන් පිරි ජීවිතය ගැන කල පාපොච්චාරණය මම නිහඩව අසා සිටියෙමි.

"ඇමෙරිකාවේදී මට අවශ්‍ය හැම දෙයක්ම තිබුණා.එත් මගේ ජීවිතයේ මොකක්ද අඩුවක් දැනුනා.හරියට ඇතුලතින් මං මැරිච්ච මිනිහෙක් වගේ."

"එතකොට චීනෙට ආවේ මොන වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? " මම ඇසුවෙමි.

"අලුත් ජීවිතයක්.එත් අර පරණ දුක් වේදනා හා හිස් බව මාත් එක්ක අවා.ගැලවීමක් නෑ.මං බෞද්ධයෙක් නම් හිතන්න තිබුණා,මං පෙර ආත්මයක කරපු පාප කර්මයක් පල දෙනවා කියලා."


ඔහුගේ පාපොච්චාරණය අවසන් වූ මොහොතක නිහඩ බව පැතිර ගියේය.

ඔහු කවුළුවෙන් ඈත තරු නැති අහස දෙස බලා සිටියේය.ඔහු අසලට ගොස් ඔහුගේ උරහිසට අත තබාගෙන සියලු දුක් වේදනා අවසන් වී හැම දෙයක්ම හොදින් සිදු වෙන බවත්, අප බලාපොරොත්තු නොවූ පරිදි ඉරණම වෙනස් කල හැකි බවත් පැවසීමට මට අවශ්‍ය වුවද මම එසේ නොකලෙමි.


"මේ සේරම දේවල් කියලා ඔබේ හිතට අමුතු බරක් පැටවීම ගැන මට කණගාටුයි "

ඔහු ජනේලයෙන් නෙත් ඉවතට ගෙන මා දෙස බලා පැවසුවේ සිනාසීමට උත්සහ කරමිනි.

"මගේ පෞද්ගලික ප්‍රශ්න ඔබ එක්ක බෙදා හදා ගන්න විතරයි,මට ඕනි උනේ"

 එසේ කී ඔහු කම්පුටරය ලගට ගොස් එහි යන්ත්‍රය නැවත්ත්වී ය.ඉන්පසු ඔහු දොර හැර විදුලි පහනද නිවා දැම්මේය.අනතුරුව අපි ශාලාවට අවතීර්ණ වීමු.



මා සමුගැනීමට සුදානම් වීමත් සමගම ඔහු ඇගිලි තුඩුවලින් මගේ හිස පිරිමැද මගේ කම්මුලට අත තබමින් මෙසේ කිවේය.

"ඔබ දන්නවා.ඔබ හුගක් ලස්සනයි.ඔබ දැන් සිටම මගෙන් ඈත් වෙලා ඉන්න.සමහර විට මං ඔබව අසතුටට පත් කරාවි.එහෙම නැත්තම් අපි කරදරයට පත් වේවි.එවිට ඔබ මට වෛර කරවී."
ඔහු කී දෙයට මම ප්‍රතිචාර නොදැක්වීමි.
 

"දැන් හිතට හරි නේද? " මම පියගැටපෙළ බැස
ආපසු හැරෙන තැන දී ඔහුගේ අත ගෙන ඇසුවෙමි.

"ටිකක් නිදා ගත්තම හරි යාවි" ඔහු මගේ පිටට තට්ටු කරමින් කිවේය.

අනතුරුව මට සුබ රාත්‍රියක් පැතු ඔහු හෙමින් හෙමින් ආපසු පියගැට පෙළ නගින්නට විය.ආපසු කාමරයට පැමිණි මම බොහෝ වෙලාවක් යනතුරු ඔහු කී දේ මෙනෙහි කරන්නට වීමි.

"මේ වගේ විශ්වාසවන්ත හදවතකට මම කොහොමද තවත් ද්‍රෝහී වෙන්නේ " මම මටම කියා ගතිමි.

මොහොතකට පසු මම කොලයක් සහ පෑනක් ගෙන මගේ සැමියාට කෙටි ලිපියක් ලියන්නට වීමි. 


"මට ඔබ නැතුව බැහැ, ඉක්මනට ගෙදර එන්න................."


ඇසි පියක දැවටුනේ....: රතු සෙබළිය-2002 ,අනුවාදනය - අනුලා ද සිල්වා [පිටු 153/54]
                           [Daughter of China by Meihong Xu & Larry Engelmann]

0 දෙනෙක් මගේ ඇසි පිය පාට කරලා...:

Post a Comment

මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ...