Monday, October 17, 2011

ඔබ වෙනුවෙන්........

මේ බ්ලොග් අඩවියට නිතර ආ ගිය ඔබ සැම වෙනුවෙන් ලියවෙන මේ සටහන අද ලියවෙන්නේ මහේෂ්ගේ අතින් නෙමේ.මේ කාලය පුරාවට තම සිතුවිලි ඔබත් එක්ක බෙදා හදාගත් ඔහු නොසිතපු විදිහට අපි අතරින් වෙන්වෙලා ගිහින් දැන් මාසයකටත් ලඟයි.ආයෙත් මේ බ්ලොග් අඩවිය රසවත් කරන්නත්, ඔහුගේ සිතුවිලි අතර සැරිසරන්නත් අද ඔහුටත් අපටත් වාසනාවක් නෑ....ඉතිරි වෙලා ඇත්තේ ඔහුත් සමග බැඳුන මතකයන් විතරයි.ඒත් මහේෂ් අද අපිත් සමග නැතත් ඔහු පිලිබඳ මතකයන් අපත් සමග හැමදාම ජීවත් වෙනවා...මහේෂ් අමරණීයයි....

මේ බ්ලොගයේ ඔහු අවසන් වරට තැබුවේත් බොහොම සංවේදී සටහනක්.අවුරුදු 9 කට කලින් ඇරඹුන තම ආදරය වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක් සිදුකරන්න තරම් ඔහු උතුම් හදවතක් තිබුන කෙනෙක්.ඔහුගේ ඔහුගේම වචන වලින් කියනවා නම් ""මම කරපු අවංක ආදරෙට,දැන් අවුරැදු 9ක් ගත වෙලා.. අවංක ආදරය අදුනන හැමොටම මගෙ හිතෙ ඉඩක් වෙන් කරන්න තමයි මෙ සුදානම..... මගෙ ආදරේ සදාකාලික කරන්න,මගේ හිතට මෙ අදහස් දිරියක් වෙවි.."" ඉතින් අද පටන්, ඔහුගේ ආදරය පමණක් නොව, මහේෂ්ගේ සිතුවිලි සදාකාලික කරන්න ඔබේ අදහස් දිරියක් වේවි.මේ බ්ලොග් අඩවියේ ඔහු අන්තිමට තබපු සටහනේ ඉඳන් ඉතිරිය ඔහුගේ යහළුවන් විසින්, පවුලේ උදවිය විසින් මහේෂ් වෙනුවෙන් සිදුකරන්නා වූ සියලුම පුණ්‍ය කටයුතු, ඔහු පිලිබඳ මතකයන් පිළිබඳව ලියවෙන සමරු සටහන් විදිහට අලුත් බ්ලොග් අඩවියක සටහන් වෙනවා.

මහේෂ්ගේ අවසන් කටයුතු සඳහා ඔහුගේ පවුලේ උදවියට උදව් දුන් අය බොහොමයි. මහේෂ්ගේ සමීපම මිතුරන් විශාල ප්‍රමාණයක් මේ ආරංචිය ආව වෙලේ පටන් නොයෙක් අයුරින් තමන්ගේ සහයෝගය දුන්නා. මේ මිතුරු කැල ඩී.එස්.සේනානායක විදුහලේ 2007 මිතුරන්, OB association, ශිෂ්‍ය නායක මඩුල්ල ,  , කුඩා කල පටන් ගමේ එකට හැදුනු යහළු යෙහෙලියන්, උසස් අධ්‍යාපන කටයුතු වලදී මිතුරුකමින් බැඳුනු උදවිය අවසානය තෙක් දිවා රෑ නොබලා මහන්සි උනා. එපමණක් නොවේ, ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, ගමේ සියලුම දෙනා, සහ මහේෂ්ගේ අවසන් කටයුත්ත සඳහා පැමිණි සියලු දෙනාගේ දායකත්වය නොඅඩුව ලැබුණා... ඉතාම සංවේදී අවස්ථාවක් උන අවසන් මොහොතේ, මහේෂ්ගේ සිරුර රැගෙන ගිය පෙරහරේ ගිය සෙනග තරම් පිරිසක් එතුවක් මෙම ප්‍රදේශයේ කිසිම දාක අපි දැකල තිබුනේ නැහැ. එයින්ම මහේෂ් කොතරම් හොඳ මිතුරෙක්, පුතෙක් උනාද කියන එක පෙනුනා.

මේ තියෙන්නේ මහේෂ් තමාම අවසන් වරට තැබූ සටහනේ ඔබ නොදැකපු කෝණයක්. මෙහි තිබෙන්නේ මහේෂ් සැප්තැම්බර් 17 වෙනිදා කල ඒ ලේ දන්දීමේ ඔහුත් , ඔහු සමග ගිය අනික් මිතුරනුත් ගත් ඡායාරූප එකතුවක්.මහේෂ් වෙනුවෙන් ඇරඹෙන අලුත් බ්ලොග් අඩවිය ඉදිරියට ගෙනයාම ඔහුගේ මිතුරු පිරිස විසින් සිදුකෙරෙනවා ඇති.

මහේෂ් අපෙන් සමුගෙන මාසයක් සපිරෙන දිනයේ ඔහුට පින් පිණිස ඔහුගේ මිතුරු කැල විසින් ඩී.එස්.සේනානායක විදුහලේ ධර්ම දේශනාවක් සහ , ළමා නිවාසයකට දානයක් සංවිධානය කරනු ලබනවා.මේ හැරුනුකොට ඔහු අප අතරින් නික්ම ගොස් මාස 3 ක් ගතවීමට පෙර ඔහු අධ්‍යාපනය ලැබූ මීගහවත්ත ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ කාර්යාලීය ගොඩනැගිල්ලේ උඩු මහල තනා නිම කර එය ඔහුගේ නමින්- අනුස්මරණ ශාලාවක් බවට පත් කිරීමත් මේ මිතුරු සංසදයේ අදහසක්. මේ සියලු පුණ්‍ය කටයුතු සඳහා ඔබට ඔබේ දායකත්වය සැපයිය හැකියි, නැත්නම් ඔබටත් එයට සහභාගී විය හැකියි. මේ පිලිබඳ සියලු විස්තර , මහේෂ් වෙනුවෙන් ඇරඹෙන ඒ සමරු අඩවියෙන් අපි ඔබ වෙත ගෙන එන්නම්... අපිත් සමග ඔහු වෙනුවෙන් රැඳෙන්න...අපිට ශක්තියක් වෙන්න...

මේ සටහන තබන්න මුල් උනේ මහේෂ්ගේ සමීපතම මිතුරෙක් වුන ධනුෂ සහන්.මෙම සටහන තබන්න අපිට හැකි උනේ මහේෂ් ඔහුත් සමග තම ජීවිතයේ හැම දෙයක්ම වගේම මේ බ්ලොග් අඩවියත් බෙදාහදාගත් නිසා.නමුත් මේ සටහන මෙතනින් නිම වෙනවා, ආයෙත් අපි මහේෂ් වෙනුවෙන් ඇරඹෙන අලුත් බ්ලොගය පිලිබඳ විස්තර ඔබ වෙත ගෙන එන්නම්...මහේෂ්ගේ සටහන් මෙහි සැමදා පවතීවි..... ඔහුට නිවන් සැප ලැබේවා....

මේ පිලිබඳ විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ධනුෂ සමග කතා බහ කරන්න.
ෆේස්බුක් මගින් - Dhanusha Sahan
මේ සටහන තබන මම - .පොපී